Pages

Tuesday, October 10, 2017

තායිවාන් ගිණුම් හැක්‌කර මුදල් වංචාව : NGO එකකුත් මාට්ටු

තායිවානයේ පෞද්ගලික බැංකුවක ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවී (හැක්‌කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌කර ඩොලර් මිලියන ගණනක මූල්‍ය වංචා කිරීමේ සිද්ධියට රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) ද සම්බන්ධ බවට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

තායිවානයේ ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී ඇති සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ එහි තිබූ ඩොලර් මිලියන 60 කට අධික මුදලක්‌ ලබාගෙන ඇති අතර එම මුදලින් කොටසක් මෙම සංවිධානයට ලැබී ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ඒ අනුව එම සංවිධානයේ ප්‍රධානින් ගෙන් ද ඉදිරි දින කිහිපය තුලදී ප්‍රශ්න කිරීමට නියමිත බව පැවසේ.
මෙම වංචාවට සැකපිට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (09 දා) අත්අඩංගුවට ගත් ලිට්‌රෝ ගෑස්‌ සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා, එම රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියකු බවද වාර්තා වේ.

අත්අඩංගුවට ගත් මුණසිංහ මහතා ඊයේ (09 දා) රාත්‍රි අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්‌ථානයට රැගෙන ගිය අතර මේ සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කර තිබිණි.

අද (10 දා) මුණසිංහ මහතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

මුදල් බෙදාගෙන :

අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ සැකකාර මුණසිංහ මහතා සහ එම මහා පරිමාණ මුදල් වංචාවට සම්බන්ධ ඉන්දියන් ජාතිකයන් කිහිප දෙනකු ඇතුළු කණ්‌ඩායමක්‌ වංචා කරන ලද මුදල් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී බෙදා ගෙන ඇති බවයි.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී වර්තමාන රජයේ ප්‍රබල මන්ත්‍රීවරයකුගේ රැකවරණය ලබමින් එක්‌තරා විහාරස්‌ථානයක සැඟව සිටින බව පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

බන්ධුල වීරවර්ධන ?

මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වන මේජර් ජනරාල් නම්මුණි මහතාගේ පුත්‍රයා හෙට (11) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර මෙම වංචාවට බන්ධුල වීරවර්ධන නමැති අයකු ද සම්බන්ධ බවත් ඔහු මේවනවිට සැඟවී සිටින බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.

මොහු රිමාන්ඩ් භාරයේ සිටින ජේ.සී. නම්මුනි නැමැත්තාගේ ඥාතියෙකි.

මොවුන් විසින් මෙසේ වංචාකල මුදල්වලින් ඩොලර් ලක්‍ෂ 25 ක්‌ මෙරට රාජ්‍ය බැංකුවක ගනුදෙනුකරුවන් දෙදෙනකුගේ ගිණුම්වලට ද බැරවී තිබී පොලිසිය සොයා ගෙන ඇත.

මෙසේ මෙරට බැංකුවක ගිණුමකට පැමිණි මුදල්වලින් ඩොලර් ලක්‍ෂ දහතුනක්‌ පමණ ලබාගෙන තිබූ අතර තවත් ඩොලර් දසලක්‍ෂයක මුදලක්‌ බැංකු ගිණුමට බැරව තිබියදී පොලිසිය විසින් අත්හිටුවා තිබිණි.