Pages

Tuesday, March 17, 2020

හිකනලුන් 109ක් හා කටුස්සන් 64ක් ජපානයට යවලා කරන්න හදපු දේ

විසිතුරු මසුන් මුවාවෙන් ජපානයට යැවීමට සූදානම් කර සිටි මෙරටට ආවේණික හිකනලුන් 109ක් හා කටුස්සන් 64ක් සමඟ එම ජාවාරමට සම්බන්ධ සැපයුම්කරු කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පෙරේදා (16) සවස පොලිස් නිලධාරීන් සමත් විය.
ඒ කළුතර දිසා දූෂණ මර්දන ඒකකයේ සහ කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදීය.

කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග
කස්තුරිආරච්චි මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබිණි.

මොහු මෙම හිකනලුන් සහ කටුස්සන් එකකු රුපියල් 500 බැගින් මිලදී ගන්නා බවත් ඉන්පසු පුත්තලමේ පදිංචි ප්‍රධාන ජාවාරම්කරුට එකකු රුපියල් 2500 බැගින් අලෙවි කරන බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත.

මොහුට මෙම සතුන් අල්ලා ගෙනැවිත් දෙනු ලබන්නේ පාසල් සිසුන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇත.

පොලිසිය අත්අඩංගුවට ගන්නා විට මෙම සතුන් සෑහෙන සංඛ්‍යාවක් විදෙස්ගත කිරීම සඳහා විශේෂ ඇසුරුම්වල බහා තිබී ඇත.

ඇසුරුම් කළ කටුස්සන් සහ හිකනලුන් පෙට්ටිවල යටට දමා ඊට උඩින් විසිතුරු මසුන් සහිත බෑග් දමා සැක නොසිතන ලෙස මේවා ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කියයි.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත හා රේගු පනත උල්ලංඝනය වන සේ කටයුතු කර ඇති මෙම සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා දකුණු කළුතර පොලිසියට භාරදී ඇති අතර ඔහු ඊයේ (17දා) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.