Pages

Wednesday, March 4, 2020

කොළඹ බාලිකා පාසල් 2කට කඩා වැදීමට ගිය සිසුන් 20ක් පොලිස් භාරයට

කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාල දෙකකට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් 20 දෙනකු කොල්ලුපිටිය පොලිසිය විසින් ඊයේ (04දා) පෙරවරුවේ පොලිස් භාරයට ගෙන තිබේ.

කොල්ලුපිටිය කේන්ද්‍ර කරගනිමින් පිහිටි මෙම බාලිකා විද්‍යාල දෙකට මෙම සිසුන් ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවද එහිදී පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වී මෙම සිසුන් පිරිස පොලිස් භාරයට ගෙන කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවද වාර්තා වේ.

අනතුරුව මෙම සිසුන්ගේ මවුපියන් සහ ගුරුවරුන් පොලිසියට කැඳවා දරුවන්ට දැඩිව අවවාද කොට මුදා හැර ඇති බවද පොලිසිය පවසයි.

මෙම සිසුන් කණ්ඩායම කොළඹ තවත් බාලිකා පාසල් කිහිපයකට ඇතුළුවීමට උත්සාහ දරා ඇතැයිද පොලිසිය කියා සිටී.

මේ දිනවල ප්‍රධාන පෙළේ පාසල් අතර අන්තර් මහ ක්‍රිකට් තරග පැවැත්වෙන අතර එම කාලයේදී මෙලෙස බාලිකා පාසල්වලට කඩා පැනීම, මහ මාර්ගවල අවිනීතව හැසිරීම, රථ වාහන වැරැදි සිදුකිරීම ආදී වැරැදි ක්‍රියාවල නිරත නොවන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට අවශ්‍ය උපදෙස්ද ලබා දී තිබිණි.