Pages

Friday, March 27, 2020

ලාංකික සිසුහු 70ක් පිලිපීනයේ කොටුවෙති

පිලිපීනයේ වර්ජින් මිල්ගේ‍රා්සා විශ්වවිද්‍යාලයේ (Virgen Milagrosa University) ඉගෙනුම ලබන ශ්‍රී  ලාංකික වෛද්‍ය සිසු සිසුවියෝ 70 දෙනකු එරට ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් - 19 ආසාදනය හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

එම සිසු සිසුවියෝ එරට ශ්‍රී  ලංකා තානාපතිනිය වන ශෝභනී ගුණසේකර මහත්මිය වෙත ලිඛිතව මේ බව දැනුම් දී ඇත.

මෙකී විශ්වවිද්‍යාලය පිලිපීනයේ පන්ගසිනන් (Pangasinan) පළාතේ සැන් කැරෝල්ස් (San Carlos City) නගරයේ පිහිටා ඇත.

පන්ගසිනන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව එම
පළාතේ කොවිඩ් - 19 ආසාදිතයන් 5ක් හඳුනාගෙන ඇති අතර දෙදෙනකු කොවිඩ් - 19 ආසාදනයෙන් මියගොස් ඇත. කෙසේ නමුත් ඔවුන් වෙසෙන සැන් කැරෝල්ස් නගරයෙන් මෙතෙක් ආසාදිතයන් කිසිවකු හඳුනාගෙන නැත.

පිලිපීනයේ පවතින තත්ත්වය උග්‍රවීමට හැකියාවක් ඇති අතර මෙම සිසුන් හා මෙරට සිටින ඔවුන්ගේ මවුපියන් ඇතුළු පවුල්වල අයගේ මානසික ස්ථායිතාව පවත්වා ගැනීමට තමන් ශ්‍රී  ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව ඔවුන් සිය ලිපිය මඟින් ශ්‍රී  ලංකා තානාපතිනිය වෙත දැනුම් දී තිබේ.

ඔවුන්ට ආරක්ෂිත මුඛ වැසුම් හා අත්වැසුම්වල හිඟයක් ඇති බවත් රජය විසින් පනවා ඇති නිරෝධායන නීති මත ආහාර, වතුර ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයාගැනීමේ දුෂ්කරතා පැන නැඟී ඇති බවත් ඔවුහු කියා සිටිති.

විශේෂයෙන්ම රෝහල් ගතවීමකදී විදෙස් සිසුන් හැටියට ඔවුන් පිලිපීන සෞඛ්‍ය රක්ෂණ ආවරණය නොලබන  බැවින් විශාල වැය බරක් දැරීමට සිදුවනු ඇති බවද ඔවුහු සඳහන් කරති.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ තමන්ව ශ්‍රී  ලංකාවට ගෙන්වා ගැනීමේදී තම අධ්‍යයන කටයුතු දිගටම පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගැනද අවධානය යොමු කර ඒ සඳහා කටයුතු සැලැස්විය යුතු බවයි.

එම ලිපියේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විදෙස් කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා එම අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහත්වරුන් වෙතද යොමු කර ඇත.  

  
under the courtesy of mawbima.lk news web